විවිධ පුද්ගලයන් හමුවීම.

විවිධ පුද්ගලයන් අන්තර්ජාලය තුළින් හමුවීම.

ප්‍රබන්ධ චිත්‍රපට වල අද්භූත දොරකින් ඇතුලු වී අමුතුම ලොවකට පිවිසෙන අයුරු ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැකයක් නැත. ඇතැම් විට එම ලොව සුන්දරය, ඇතැම් විට බිහිසුණුය.

අන්තර්ජාලයත් පරිගණකය නම් කුඩා දොරටුවෙන් පිවිසිය හැකි අමුතුම ලොවක් වැනිය. එහි සීමා මායිම් ඒ පිලිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙකුට පවා තේරුම් ගැනීම අපහසුය. මෙහි සුන්දරත්වය මෙන්ම බිහිසුණු බව යන දෙකම ඇතුලත්ව ඇත. නමුත් භයානක වන්නේ ඇතැම් බිහිසුණු දේත් ඉතාමත් සුන්දර ලෙසින් මේ තුල පෙනී සිටීමය.

අන්තර්ජාලය මගින් ලොව විවිධ තැන වල වෙසෙන විවිධ ආකාරයේ පුද්ගලයන් රැසක් වෙත මොහොතකින් සම්බන්ධ විය හැකි ය. නමුත් අප දකින්නේ ඔවුන්ගේ නියම ස්වරූපය නොවෙයි.

අන්තර්ජාලය තුල පුද්ගලයෙකුට ඕනෑම ලෙසකින් පෙනී සිටිය හැකිය. අවුරුදු 65ක මුනුපුරන්ද සිටින පුද්ගලයකුට අවුරුදු 22ක තරුණයකු ලෙස පෙනී සිටිය හැකිය. සොරකුට  නීතීඥයකු  ලෙස පෙනී සිටිය හැකිය.

පුද්ගලයකු ඉදිරිපත් කරන අනන්‍යතාවය තහවුරු කරන ක්‍රම අන්තර්ජාලයේ ඇත්තේ ඉතාමත් සුළු වශයෙනි. තිබුණත් ඒවා භාවිතා කරන්නේ ඉතාමත් ජනප්‍රිය විශේෂ චරිත පමණි.

එමනිසා අන්තර්ජාලය හරහා ඔබේ මිතුරකු හෝ මිතුරියක වීමට උත්සාහ දරන දිවයිනේ උසස්ම විශ්ව විද්‍යාලයක හෝ පාසලක ඉගෙනීම ලබනවායයි කියන පුද්ගලයා පාතාලයේ අපරාධ ගණනාවකට සම්බන්ධ තවත් ගොදුරක් සොයමින් සිටින කෙනෙක් වීමට ඉඩ ඇත.

අන්තර්ජාලයෙන් මුණගැසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සැමවිටම පහත කරුණු පිලිබඳ සැලකිලිමත් වන්න.

  • ඔබ සැබෑ ලෝකයේ ඇසුරු කර නොමැති, අන්තර්ජාලය තුළින් පමණක් හමුවූ පුද්ගලයින් පවසන කිසිවක් විශ්වාස නොකරන්න. අද අන්තර්ජාල අපරාධ කණ්ඩායම් වල සිටින්නේ වැඩිහිටි පිරිමින් පමණක් නොවෙයි. අධ්‍යාපනය ලබන වයසේ සිටින ගැහැණු ළමුන් පවා මෙවැනි කණ්ඩායම් මගින් “ඇම” ලෙස භාවිතාකරයි. එමනිසා අන්තර්ජාලය තුලින් හමුවන ගැහැණු ළමයකු වුවත් විශාල වශයෙන් විශ්වාස කිරීම නුවණට හුරු නැත. තවත් කරුණක් නම් ඔබට කිසිම සැකයක් ඇති නොවන ආකාරයට හැසිරීමට මොවුන් දක්‍ෂ වීමයි.

  • ඔබගේ පුද්ගලික තොරතුරු කිසිවක් ඔවුන් සමග නොපවසන්න. ඔබගේ නිවස පිහිටි නිවැරදි තැන. ඔබ යන පාසැල. ඔබ උපකාරක පන්ති වලට සහභාගී වන ස්ථාන සහ වේලාවන් ආදී කිසිවක් ලබාදෙන්න එපා. මෙවැනි තොරතුරු ලබාදීමෙන් ඔබව කප්පම් සඳහා පැහැරගැනීම් ආදී ජීවිත තර්ජන ඇතිවන අවස්ථා වලට පවා මග පාදයි.

  • කිසිම විටෙක අන්තර්ජාලය තුලින් මුණගැසුණු පුද්ගලයකු නිසි පරිදි හඳුනා ගන්නා තුරු ඔහු හෝ ඇයසමග Skype, Facebook වැනි තාක්ෂණ හරහා Video Chat නොකරන්න. ඔබගේ මුහුණ කැමරාවට තත්පර ගණනකට විවරවීම අපරාධකරුවකුට හොඳටම ප්‍රමාණවත් ය. එයින් ඔහුට ඔබගේ ඡායාරූපයක් ලබාගෙන ඔබගේ චරිතයට හානිවන ආකාරයට භාවිතා කිරීමට මග පාදා දෙයි.

  • කිසිම විටෙක අන්තර්ජාලය තුලින් පමණක් දන හඳුනාගත් පුද්ගලයකු වැඩිහිටියන්ගේ අනු දැනුමකින් තොරව හමුවීමට නොයන්න.

ඔබට අන්තර්ජාලයෙන් මුණගැසෙන සෑම පුද්ගලයකුම අපරාධකරුවෙකු නොවනු ඇත. නමුත් ඔබගේ ආරක්ෂාව සැමවිටම සලසාගැනීම නුවණට හුරුය. එමනිසා ඉහත කරුණු පිලිබඳ ඔබ නිරන්තරයෙන් සැලකිලිමත් වන්නේනම් ඔබට තිබෙන අවදානම අඩු කරගත හැකිය.

මෙහි අවදානම තේරුම් ගැනීම සඳහා පහත දැක්වෙන video එක නරඹන්න.

full-video-button1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>