Facebook භාවිතය

Facebook භාවිතය

Facebook භාවිතය පිලිබඳ සම්පූර්ණ විස්තරයක් කිරීමට අසීරු වුවත් ඔබ දැන ගත යුතු මූලික කරුණු කිහිපයක් සටහන් කරමි.

Facebook ගිණුමක් ආරම්භ කිරීම.

Facebook ගිණුමක් යනු කෙනෙකුට ඉතාමත්ම පුද්ගලික වූ දෙයකි. වර්තමානයේ අපරාධ පරීක්ෂණ කටයුතු වලට පවා Facebook ගිණුමේ ඇති තොරතුරු ලබා ගනී. කිසිම විටෙක තවත් මිතුරන් හා හවුල් වී ගිණුමක් ආරම්භ නොකරන්න. කිසිම අවස්ථාවක  එහි password වෙනත් අය සමග හුවමාරු කර ගැනීමෙන් වලකින්න. පුද්ගලයෙකුගේ චරිතයට හානි කළහැකි පහසුම මගක් වන්නේ ඔහුගේ Facebook ගිණුම සොරකම් කිරීමයි. එනම් password අත්පත් කර ගැනීමයි. යලිත් මතක් කර දෙන්නේ අද “හොඳම මිතුරන්” අනාගතයේ “හිටපු මිතුරන්” බවට පත්වීමට ඉඩ ඇති බවයි.

මිතුරන් එකතු කර ගැනීම.

Facebook ගිණුම සෑදු පසු ඊළඟට කරන්නේ මිතුරන් එකතු කර ගැනීමයි. “අනේ මට තාම Friends ලා මෙච්චරයිනේ ඉන්නේ, අරයටනම් ගොඩාක් ඉන්නවා” කියලා සිතමින් මිතුරන් ගණන වැඩි කර ගැනීමට උත්සාහ කරයි. මිතුරන් එකතු කර ගැනීමේදී පහත කරුණු මතක තබා ගන්න.

Facebook ගිණුමේ මිතුරන් විශාල ප්‍රමාණයක් සිටීම ලොකු කමක් යැයි සිතන්න එපා. ඔබේ ගිණුමේ අසාමාන්‍ය ලෙස ඉහල මිතුරන් සංඛ්‍යාවක් දුටු විට ඔබ ගැන ඇති පිළිගැනීම අඩුවීමට ඉඩ ඇත. එනම් ඔබ “දකින දකින ඕනෑම කෙනෙකු සොයා බැලීමකින් තොරව Friend කෙනෙකු ලෙස එකතු කරගන්නා පුද්ගලයකු” ලෙස හැගීමක් ඇති වීමට හැකිය.

ඔබට බොහෝ නොදන්නා පුද්ගලයන්ගෙන් Friend requests ලැබෙනු ඇත. නමුත් කිසිම විටෙක ඒවා අනුමත කිරීමෙන් වලකින්න. ඒවා ඔවුන්ගේ නියම Profile නොවීමට පුළුවන. එපමණක් නොවේ, ඔවුන් එලෙස බලෙන්ම මිතුරකු වීමට උත්සාහ කිරීමේ යටි අරමුණ කුමක්දැයි අප දන්නේ නැත. මෙම පොතෙහි “නොගැලපෙන පුද්ගලයන් අන්තර්ජාලය තුලින් මුණගැසීම” යන කොටස නිතරම සිහියට නගාගන්න.

මෙවැනි මිතුරකු ඔබේ ගිණුමට එකතු කරගතහොත් එවැනි පුද්ගලයකු ඔබගේ මිතුරකු ලෙස සිටින බව ටික දිනකින් ඔබට අමතක වනු ඇත. නමුත් ඔබ Facebook ගිණුමට එකතු කරන සියලුම දේ ඔහු/ඇය සමගද බෙදා ගනීයි. ඒවා ඔහුට අවශ්‍ය පරිදි භාවිතා කල හැකිය. විශේෂයෙන් ඡායාරූප ආදිය අනවශ්‍ය පුද්ගලයින් අතට පත්වීමෙන් ඇතිවන අවදානම ඔබ දැනටමත් තේරුම් ගෙන ඇතැයි සිතමි. එනම් ඔබ අනවශ්‍ය ප්‍රශ්නයකට සම්බන්ධ වීමට ඉඩ ඇත. හොඳම දෙය හැකි තාක් තමනට ඇති අවදානම අවම වන ලෙස කටයුතු කිරීමයි.

ඔබගේ සැබෑ මිතුරකුගේ නමින් එවන Friend request එකක් සැබවින්ම ඔබගේ මිතුරා එවන එකක් නොව, වෙනත් කෙනෙකු ව්‍යාජ ලෙස ඔබගේ සැබෑ මිතුරාගේ නම භාවිතා කරමින් සෑදු ව්‍යාජ ගිණුමකින් එවන ලද එකක් විය හැකිය. මෙවැනි දේ ගැන විමසිලිමත් වන්න. ඔවුන් ඔබගේ මිතුරාගේ සැබෑ ගිණුමෙන් සොරකම් කරන ලද ඡායාරූප ආදිය භාවිතා කර ඔබට සැක කල නොහැකි ආකාරයෙන් මෙය සාදා තිබෙනවා විය හැකිය. මෙවැනි පුද්ගලයින් මිතුරන් ලෙස එකතු කර ගැනීමෙන් ඔබගේ නමින්ද මෙලෙස ව්‍යාජ ගිණුම් සකස් කිරීමට ඔවුනට අවස්ථාව සලසා දේ.

ඔබත් Friend request එකක් යැවීමට ප්‍රථම ඔහු/ඇය මිතුරකු ලෙස එකතු කරගත යුතු පුද්ගලයකුදැයි සිතා බලන්න. කිසිම විටෙක මිතුරන් සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණින් Friend request යැවීමෙන් වලකින්න. එය ඔහුගේ/ඇයගේ නියම ගිණුම දැයි සැක හැර දැනගන්න. මේ සඳහා පහත පියවර කිහිපය අනුගමනය කරන්න.

1) ඔබගේ මිතුරාගේ/මිතුරියගේ නම Google සහ Facebook මගින් search කරන්න. එකම තොරතුරු අඩංගු ගිණුම් කිහිපයක් තිබේනම් ඒවා ව්‍යාජ ගිණුම් (Fake accounts) විය හැකිය. එවැනි විටක Friend request යැවීමෙන් වලකින්න. හැකිනම් ඔබේ මිතුරාට දුරකථන ඇමතුමක් වැනි වෙනත් මාධ්‍යයකින් මේ බව දැනුම් දෙන්න. එම ගිණුම් සියල්ල ඔහුගේනම් පමණක් ඔහු භාවිතා කරන ගිණුමට Friend request එකක් යවන්න.

2) පොදු මිතුරන් (Mutual friends) පරීක්ෂා කරන්න.

නොදන්නා පුද්ගලයින් මිතුරන් ලෙස එකතු කර ගැනීමේ අවදානම තේරුම් ගැනීමට safemoods.com මගින් නිපදවා ඇති පහත Video නරඹන්න.

full-video-button1

 

full-video-button1

full-video-button1

ගිණුමට තොරතුරු ඇතුලත් කිරීම.

ඔබ පාසල් යන වයසේනම් හෝ තරුණියකනම් ලිපිනය, දුරකථන අංකය, පුද්ගලික විද්‍යුත් ලිපිනය වැනි දේ ඇතුලත් කිරීමෙන් වලකින්න. ඒවා ඔබට අනවශ්‍ය ප්‍රශ්ණ වලට මඟ පාදයි.

ගිණුමට ඡායාරූප ඇතුලත් කිරීම

මෙම පොතෙහි මුලින් සඳහන් කල අන්තර්ජාලයට ඡායාරූපයක් ඇතුලත් කිරීමේදී පිළිපැදිය යුතු කරුණු නිතරම පිළිපදින්න. ඇතුලත් කරන ඡායාරූප ඔබගේ මිතුරන්ට පමණක් නැරඹිය හැකි සේ ඇතුලත් කරන්න.

Status update කිරීම.

Status update කිරීමේදී සැලකිලිමත් වන්න. ඕනෑම පුද්ගලයකු ඔබගේ posts දුටුවාට ඔබට ගැටළුවක් ඇති නොවන ආකාරයේ posts පමණක් ඇතුලත් කරන්න. විශේෂයෙන් ඔබ සිටින ස්ථානය පිලිබඳ දැනුම් දීමේදී ඒ පිලිබඳ සැලකිලිමත් වන්න. Facebook තුලදීම මා ඇස ගැටුණු පහත පොස්ට් එක ඔබට වටිනා පණිවිඩයක් දෙනු ඇත. (උපුටාගැනීම: https://www.facebook.com/ලොවෙත් නෑ)

14

Status update කිරීමට පෙර හොඳින් සිතා බැලිය යුතු නොවන්නේද?

ව්‍යාජ ගිණුම් (Fake Accounts)

Facebook භාවිතයේදී අද බහුලවම දක්නට ලැබෙන ගැටළුවක් වන්නේ ව්‍යාජ ගිණුම් සෑදීමයි. මේවා බොහෝවිට යොදාගන්නේ තවත් කෙනෙකුගේ චරිතයට හානි කිරීමටයි. බොහෝවිට මෙවැනි ව්‍යාජ ගිණුම් සාදන්නේ ඔබව හොඳින්ම දන්නා අඳුනන පුද්ගලයන්ය. මේවා සෑදීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාගන්නේ බොහෝවිට ඔබගේ Facebook ගිණුමෙන් මය. නොදන්නා පුද්ගලයන් මිතුරන් ලෙස එකතු කරගැනීමේ එක් අවදානමක් වන්නේ මෙලෙස ව්‍යාජ ගිණුම් සෑදීමට ඔවුනට අප විසින්ම අවස්ථාව සලසා දීමයි.

ඔබේ නමින් ව්‍යාජ ගිණුම් ඇත්දැයි දැනගන්නේ කෙසේද?

Facebook තුල සහ Google, Yahoo, Bing යන සෙවුම් යන්ත්‍ර තුල ඔබගේ නම search කර බලන්න. (සති දෙකකට වරක් වත් පුරුද්දක් වශයෙන් මෙය සිදු කරන්න.) එවිට ඔබ විසින් සෑදු ගිණුම් වලට අමතරව ඔබගේ විස්තරම ඇතුලත් වෙනත් ගිණුමක් තිබේනම් එය වෙනත් කෙනෙකු විසින් සැකසූ ව්‍යාජ ගිණුමක් විය හැකිය.  ඔබගේ නමට සමාන නම් ඇති තවත් පුද්ගලයන් සිටි හැකි බැවින් එවැනි ගිනුමක ඇති තොරතුරු සහ ඡායාරූප ඔබගේමදැයි තහවුරු කර ගන්න.

 (ඇතැම්විට ඔබ විසින්ම ගිණුම් කිහිපයක් සාදා තිබෙනවා විය හැකිය. මෙලෙස ඔබ භාවිතා නොකරන ඔබ විසින්ම සෑදු ගිණුම් තිබේනම් කරුණාකර ඒවා අවලංගු කරන්න.)

ඔබේ නමින් ව්‍යාජ ගිණුමක් ඇත්නම් ඔබ කල යුත්තේ කුමක්ද?

ඔබේ නමින් ව්‍යාජ ගිණුමක් ඇති විට හැකි අයුරකින් ඒ තුලට පිවිස එහි අන්තර්ගතය පරීක්ෂා කරන්න. නමුත් කිසිම විටෙක ඔබගේ ගිණුමෙන් Friend request එකක් යවන එපා. එවිට එම පුද්ගලයාට ඉතා පහසුවෙන් ඔබගේ ගිණුමෙන් ඡායාරූප සහ වෙනත් විස්තර සොරාගෙන ඒවා ඔහුගේ ව්‍යාජ ගිණුමට දැමිය හැකිය. එමගින් ප්‍රශ්නය තවත් බරපතල වේ. ඔබගේ චරිතයට හානිවන කිසිවක් ඒ තුල නැත්නම් එය ඇතැම්විට ඔබගේ මිතුරකු සෑදු එකක් විය හැකිය. එම ගිණුම ඉවත්කරන ලෙස ඉල්ලා කාරුණික message එකක් යවන්න. එයට ප්‍රතිචාර දැක්වුවේ නැතිනම් ඔබ ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බව පවසා තවත් message එකක් යවන්න.

මෙය ඔබගේ චරිතයට හානිවන ආකාරයේ පිටුවක්නම් ඒ පිලිබඳ නොපමාව නීති මඟින් කටයුතු කරන්න. අන්තර්ජාලය සම්බන්ධයෙන් ඔබව අපහසුතාවයට පත්වන ඕනෑම අවස්තාවක ඔබගේ සහයට රාජ්‍ය ආයතනයක් වන “පරිගණක සංසදය” ආයතනය සිටින බව මතක තබාගන්න. එහි දුරකථන අංකය 011 2 691692.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>